News

“ආණ්ඩුව ගෙදර යවන්න අපි සූදානම්” අනුර කුමාර දිසානායක

ආණ්ඩුව කලින් ගෙදර යැවීමට අවශ්‍ය නම් පාරට එන ලෙසත් ඊට ජනතාව සූදානම් නම් ජවිපෙ ඊට සූදානම් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවසීය. අනුරාධපුර, එප්පාවල, හුරිගස්වැව ප්‍රදේශයේ ඊයේ (4 වැනිදා) පැවැති සංවාදශීලී ගොවිජන හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

දීර්ඝ කාලයක් රට පාලනය කළ පක්ෂ දෙකම රටට දැවැන්ත විනාශයක් සිදුකර තිබෙන බවත්, පසුගිය කාලය පුරා මෙරට නිෂ්පාදකයන් දියුණු කිරීමට පාලකයන් සමත්වී නැති බවත් ඔහු සඳහන් කළේය. මන්ත්‍රිවරයා එහිදී මෙසේද කීවේය.

‘අද හාල් හිඟයක් ඇති වුණේ ගොවියගේ ප්‍රශ්නේ නිසා නොවෙයි ආණ්ඩුව ගනු ලැබූ වැරැදි ප්‍රතිපත්ති හා තීන්දු නිසයි. ඒ නිසා අද රටේ මුළු නිෂ්පාදනම කඩා වැටිලා. අද අපිට ඩොලර් ඇත්තෙත් නැහැ, භාණ්ඩ ඇත්තෙත් නැහැ. ඒ නිසා අද බොහෝ අය අනතුරු අඟවනවා මාර්තු, අප්‍රේල් වනවිට විශාල ආහාර හිඟයක් ඇති වෙයි කියලා. ඒ ගැන කියපු කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමාට ගෙදර යන්න වුණා. එතුමා ගෙදර ගියා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

අපේ රටේ අධ්‍යාපනය කඩා වැටිලා, ගෑස් පෝලිම්. සපුගස්කන්ද වහලා බොරතෙල් ටික ගේන්න විදිහක් නැහැ. ණය ගෙවා ගන්න විදිහක් නැහැ. ඉන්දියාවට යනවා පරිප්පු ගේන්න ඩොලර් ටිකක් දෙන්න කියන්න, චීනෙට යනවා රෙදි පිළි ගෙන්න යුවාන් ටිකක් ඉල්ල ගන්න. රට හිඟමනට දාලා, රට කඩා වට්ටලා. මේක ස්වාභාවික ව්‍යසනයක් නොවෙයි. රටට මේ ව්‍යසනය ඇති කළේ ආණ්ඩුවයි.’

පහුගිය අප්‍රේල් මාසයේ 30 වැනිදාට ආණ්ඩුවේ ණය ප්‍රමාණය කෝටි දාසය ලක්ෂ තිස් දහසක්. ජනවාරි 18 වැනිදාට ඇමරිකානු ඩොලර් බිලියන 500ක ණයක් ගෙවන්න තියෙනවා. දැන් ගෙවාගන්න අමාරු නිසා දැන් අතමාරුවක් ගන්නවා.’