News

‘මහ කන්නයේදී වී කිලෝවකට රු.75ක් දෙනවා’ මහින්දානන්ද අලුත්ගමගේ

මහ කන්නයේ වී කිලෝවක් සඳහා රජය රුපියල් 25ක සහනාධාරයක් ලබාදෙන බවත්, ඒ අනුව මෙවර වී වගා කරන ලද සෑම ගොවියකුගෙන්ම වී කිලෝව රුපියල් 75කට මිලදී ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

හරිත කෘෂිකර්මාන්තය කිරීමට නොහැකි යැයි පැවසූ සෑම ගොවියකුටම ආණ්ඩුව පිළිතුරක් සපයා ඇති බවත්, හරිත කෘෂිකර්මාන්තයට යොමුවීම නිසා අස්වැන්නේ යම් හානියක් සිදුවුවහොත් ගොවියාට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා රුපියල් 50කට පැවැති වී කිලෝවක මිල රුපියල් 75 දක්වා වැඩි කිරීමට රජය කටයුතු කරන බවත්, මෙහිදී වගා හානි සඳහා වන්දි ගෙවීමක් සිදු නොවන බවද ඇමැතිවරයා කීවේය.

වී කිලෝවක මිල වැඩි කළද, කිසිසේත්ම පාරිභෝගිකයා අසීරුතාවයට පත් කරමින් සහල් මිල ඉහළ නොදමන බවද ඇමැතිවරයා පැවසීය.

ඉදිරියේදී යම් ආහාර හිඟයක් ඇතිවුවහොත් එය වළක්වා ගැනීම සඳහා වගා කටයුතු සඳහා රජයෙන් මුදල් ලබාදෙන බවත්, ගෙවතු වගා කටයුතු කිරීමේදී පොහොර සහ බීජ තමන් විසින්ම සපයාගත යුතු බවද ඇමැතිවරයා පවසයි.

ගෙවතු වගා ඇතුළුව සමස්ත වගා වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවන බවත්, මෙම කටයුතු සඳහා බලකායක් පිහිටුවීමටද කටයුතු කරන බවද කෘෂිකර්ම ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.