News

වීදි ලාම්පු 31 තෙක් නිවා දමමු. බැසිල්ගෙන් ආයාචනයක්

විදුලිය පිරිමැසීම සඳහා ඊයේ (07) සිට ලබන 31 වැනිදා දක්වා සියලු වීදි ලාම්පු අක්‍රිය කර තබන ලෙස මුදල් ළමා තේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

මීට අමතරව විදුලිය ඉතිරි කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළහැකි විකල්ප වේ නම් ඒවා සම්බන්ධයෙන් සලකා බලන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත. වැහි රහිත තත්වය හේතුවෙන් මේ වන විට ජල විදුලි බලාගාර මුළුමනින්ම අක්‍රීය වී ඇති බවත් සියයට තිහක් වූ එම ධාරිතා අඩුව පිරවීම සඳහා ඉන්ධන බලාගාර වලින් නිපදවන ඒකකයක් වෙනුවෙන් දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දැරිය යුතු වන බවත් අමාත්‍යවරයා ගේ ලිපියේ සඳහන් වේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත ඉතාමත් සීමාසහිත මට්ටමක පැවතීම හේතුවෙන් රට පත්ව ඇති සංකීර්ණ තත්ත්වය සලකා බලා ජාතික යුතුකමක් සේ සලකා මෙම තීන්දුව ක්‍රියාත්මක කරන ලෙසට හෙතෙම එම ලිපියෙන් ඉල්ලා ඇත.