News

රාජ්‍ය ආයතනවලට කැලෑ නීතිය එපා – ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ජනපතිට කියයි

රාජ්‍ය ආයතනවල කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ පැවසීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමිනි. පසුගිය 22 වැනිදා තමන් යවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වෙයි.

‘‘ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන තමා ඉල්ලා අස් වී ගෙදර ගිය බවට පළ වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි. එසේ වුවත් යම් පිරිසක් තමාට ඉල්ලා අස් වී යන ලෙස තර්ජනය කිරීම සහ බලපෑම් කිරීම සත්‍යයකි.

මැයි 9 වැනිදායින් පසු ආයතනයේ සිටින දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනකු සහ අධ්‍යක්ෂවරයකු මා හට බොරු චෝදනා හා තර්ජනය කරමින් ඔවුන්ගේ මුහුණු පොත් පිටුවල ‘දැන් ඇති මහින්දත් එක්ක තෝත් පල’ වැනි විවිධ අපහාසාත්මක ප්‍රකාශයක් පළ කර තිබිණි. ‘අපි මීට කලිනුත් සභාපතිලා, අධ්‍යක්ෂ ජනරාල්ලා කනෙන් ඇදලා එළවලා තිබෙනවා. අපිට ඒවා සුළු වැඩ. විනාඩි විස්සක් දෙන්නම් යන්න’ යනුවෙන් තර්ජනය කරමින් ප්‍රකාශ පළ කර තිබිණි.

ආයතනය තුළ තිබිය යුතු කාර්මික සාමය පලුදු වන ආකාරයෙන් සේවකයන් උසි ගන්වා මෙම ක්‍රියාව සිදු කිරීම පිළිබඳ හා මා හට කරන ලද තර්ජන සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ද ගොනු කරන ලදී.

ස්වාධීන රූපවාහිනිය, දෙහිවල සත්වෝද්‍යානය හා තවත් බොහෝ ආයතනවල කාර්ය මණ්ඩලවලට මෙලෙස හිරිහැර කරමින් සිටී. එබැවින් මෙම තත්ත්වය වෙනත් ආයතනවලට පූර්වාදර්ශයක් ලෙස ක්‍රියාත්මක වීම වැළැක්වීම සියලු දෙනාගේ වගකීමයි. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඉල්ලා සිටිමි.’’