News

හරින්ගේ නිරුවත රටටම හෙළි වුණා – ජේ.සී. අලවතුවල

සමගි ජන බලවේගය ගත් ප්‍රතිපත්තිමය තීන්දු උල්ලංඝනය කර ආණ්ඩුවට ගොස් ඇමැතිකම් ගත් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් පිළිබඳව කණගාටු වන බව සමගි ජන බලවේගය නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කොළඹ දී ඊයේ (22) පැවසීය.

සමන් අහක බලාගෙන ඇමැතිකම් ගත් බව හරින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ දී රඟපා පෙන්නුවා ඔහුගේ නිරුවත රටට හෙළි වූ බවත් අලවතුවල මහතා සඳහන් කළේය. මෙවැනි බොරු රැවටිලි මගින් පීඩාවට පත්ව සිටින ජනතාව සමඟ විහිළු කිරීමෙන් වලකින්න ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අලවතුවල මහතා මෙසේද කීවේය.
‘ මේ වන විට රටේ තත්ත්වය ඉතාම භයානක තැනට පත්වෙලා. අපේ රටේ ලක්ෂ 6 කට වැඩි පාසල් දරුවන් පිරිස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ දරුවන්ට අධ්‍යාපනය වාර කීපයේදීම විශාල අසාධාරණයකට ලක් වුණා. මේ දරුවන්ගේ විෂය නිර්දේශය නිසි ආකාරව අවසන් කර නැහැ. එතැනදිත් මේ දරුවන්ට විශාල අසාධාරණය වුණා.

මෙයට අමතරව දිගින් දිගටම විදුලිය කප්පාදු කළ නිසාත් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල හානිය වුණා. දුෂ්කරතා මධ්‍යයේ විභාගයට පෙනී සිටින දරුවන් විභාග සඳහා රැගෙන යාමට මවුපියන් දිගින් දිගටම ඉන්ධන පෝලිම් වල රැඳී සිටිනවා. මේ දරුවන් පාසල් කරා රැගෙන යන්න පාසල් වෑන් ඇතුළු බස් වලට ඉන්ධන ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි අපි ආණ්ඩුවට බල කරනවා.

දැන් දිග කාලසීමාවක් තිස්සේ ඉන්ධන හිගය රටේ පැවතුනා. ඒ වගේම රට තුල උග්‍ර ගෑස් හිගය තිබෙනවා. අද නාගරික ජනතාවට තමන්ගේ දරුවන්ට කෑම වේලක් දී ගන්න බැරිව ඉන්නවා. ඒකට විකල්පයක් මේ රජයට නැහැ.’