News

රාජ්‍ය නිළධාරී ත්‍රස්තවාදය නිසා කබලෙන් ලිපට වැටෙන මී මුරේ මිනිස්සු

ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමනි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, උඩුදුම්බර ආසනය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ලොහාන් ඊ. රත්වත්ත මැතිතුමනි,

මී මුරේ ඉඩම් ගැටළුව ගැන ඔබතුමාලා වෙත ගම් වාසීනුත්, පෞද්ගලිකව මමත් විටින් විට මේ ගැන දැනුවත් කර ඇත්තෙමි. ඔබතුමන්ලා මේ පිළිබඳව ප්‍රායෝගික විසඳුම් ලබා දෙන ලෙස රාජ්‍ය නිළධාරීන් වෙත කොතෙක් දැනුම් දුන්නද, කොතෙක් ඉල්ලීම් කලද එහි කිසිදු ප්‍රතිපලයක් අත් වී නොමැති බව ඉතා කාරුණිකව දැනුම් දෙමි. එබැවින් මේ සම්භන්ධව මීමුරේටම පැමිණ රටේ ජීවනාලිය බදු මේ ගොවි ජනතාවගේ සැබෑ හෘද සාක්ෂියට කන් දී මේ පිළිබඳව අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වරෙක පවසා සිටියේ මී මුරේ වගා කල ඉඩම් ගම්මුන්ට නිදහස් කර දෙන ලෙසයි.. නමුත් දැන් වෙන්නේ වගා කරපු ඉඩම් පවා කැලේට අත ඇර, පාරම්පරික ඔප්පු නොසලකා කාටත් නොතේරෙන ක්‍රමවේදයකට එකිනෙකාට බලපත්‍ර ලබා දීම තුලින් මේ ගැටළුව අවුලෙන් අවුලට පත් කිරීමක් බව ගැමියන්ගේ මතයයි..

සමහර ගැමියන්ගේ ඉඩම් රජයේ ගොඩනැගිලි වලට බලෙන් පවරා ගැනිමේ කටයුතුද මේ අතර සිදුවෙන බැවින් මේ ගැමියන් දැන් පත්ව සිටින්නේ කබලෙන් ලිපට වැටුණු තත්වයකට.

පහතින් දැක්වෙන්නේ ඒ ගම් වාසීන්ගේ හෘද සාක්ෂියයි.. කුරා කුහුඹුවෙකුටවත් සාප නොකරපු මේ පුද්ගලයින් මේ සාප කරන්නේ තමන්ගේ පරම්පරාවෙන් උරුම වන ඉඩ කඩම් අහිමි වෙන ශෝකය නිසා මිස වෙන කිසිදු කරුණක් නිසා නොවේ.. එම නිසා ඉහත කරුණු සලකා බලා, මීමුරේ හා ඒ ආශ්‍රිත ගම්මානවල ජනතාව පීඩාවට පත් වෙමින් සිටින මෙම ගැටළුව විසඳීමට මැදිහත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. – අභීත එදිරිසිංහ